iranama
යුගදිවියේ සැපත කියාදෙන කේන්ද්‍රය
සමාජයේ ඕනෑම තරුණයකුගේ සහ තරුණියකගේ බලාපොරොත්තුව සතුටින් පිරි සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමයි. විවාහය තුළින් අර්ථාන්විත ගමනක් යැම සඳහා දෙදෙනා අතර අන්‍යෝන්‍ය පිළිගැනීම, අනාගත ජීවිතය ඛෙදාගැනීම, එකිනෙකා තුළ පවතින අන්‍යෝන්‍ය ආශාවන් ඛෙදාහදා ගැනීමේ හැකියාව යන සංකල්ප ඔස්සේ යුගදිවිය සැලසුම් කරගනී.
මෙහිදී එකිනෙකාට වෙන්වූ චරිතාංග පවතී. මේ පිළිබඳව දෙදෙනාම හොඳ අන්‍යෝන්‍ය අවබෝධයක් ලබාගැනීම අවශ්‍ය වේ. මෙසේ එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට අනන්‍ය වූ කායික මානසික තත්ත්වයන් අවබෝධ කර ගැනීමට උත්පත්ති කේන්ද්‍රයේ පවතින ග්‍රහ තත්ත්වය උපකාරී වේ.
මෙවන් අවස්ථාවක කේන්ද්‍රය පරීක්ෂා කිරීම තුළින් විවාහ ජීවිතය තුළින් අපේක්ෂා කරන අඹුසැමි සතුට, දරුපල, දිගුකාලීන පැවැත්ම, සමාජ හා ආර්ථික නැඹුරුව හා චරිත ස්වභාවය ආදී කරුණු ගණනාවක් හෙළිදරව් කරගත හැකිය.
දෙවැනි උපත ලෙස සලකන විවාහය පිළිබඳ කල්තියා දැනගත හැකි එකම ශාස්ත්‍රය ජ්‍යෝතිෂයයි. මෙලොව ජීවිතය සතුටින් ගත කිරීම අප සැම දෙනකුගේම ඒකායන ප්‍රාර්ථනාවයි. විවාහය තුළ ගොඩනැඟෙන පවුල් ජීවිතය සතුටින් හා සාමයෙන් ගෙන යැම එතරම් පහසු කාර්යයක් නොවේ. අඹු සැමියන් විසින් නිරන්තර මුහුණ දෙනු ලබන සමාජ ආර්ථික ගැටලු විවාහ ජීවිතය තුළ අවශ්‍යතා සපුරා ගැනීමේදී බාධා ඇති කරයි. ඔවුනොවුන් තුළ පවත්නා දුර්වල මානසික ස්වභාවය, ගති පැවතුම්, අන්‍යෝන්‍ය අවබෝධය, සමාජ සම්බන්ධතා තුළින් පීඩනයක් එල්ල වීම වැනි කරුණු විවාහ සම්බන්ධතා පලුදු වීමට බොහෝ දුරට හේතු වේ.
විවාහ සතුට හා බැඬෙන කරුණු ගැන විමසා බැලීමේදී හත්වැන්න සහ එහි අධිපති එම භාවයට ලැඛෙන ග්‍රහ දෘෂ්ටි සහ සංයෝග මෙන්ම ලග්නය, දෙවැන්න සහ එකොළොස්වැන්න යන සියලුම භාවයන් හා එහි අධිපතීන් ගැන සලකා බැලිය යුතු වේ. යම් ජන්මියෙකුගේ හත්වැන්නාධිපති 1, 4, 7, 10 යන භාවයන්හි ශුභවාදී අයුරින් තැන්පත් වේ නම් ජන්මියාට හිතවත් අවංක විශ්වාසදායක සහකරුවෙක් හෝ සහකාරියක් ලැබීමට හේතු වේ.
විවාහ සතුට ලබාදීමේදී විවාහ කාරක සිකුරු වැදගත් කාර්ය භාරයක් ඉටුකරයි. යම් ජන්මියකුගේ සිකුරු හත්වැන්නටද ලග්නයටද ශුභ දෘෂ්ටි සහිතව යෙදේ නම් යහපත් විවාහයක් තුළින් සිත් ඇදගන්නා සුළු සහකාරියක් ලැබීමේ භාග්‍යය හිමිවේ. විශේෂයෙන් පුරුෂ කේන්ද්‍රයක සිකුරු යහපත් ලෙස පිහිටා ඇත්නම් රූපයෙන් හා ගුණයෙන් යුත් යහපත් සහකාරියක් ලැබීමේ භාග්‍යය හිමි වේ.
විවාහ රාශියෙන් 6 වැන්න වූ 12 වැන්නේත්, 8 වැන්න වූ 2 වැන්නේත්, 12 වැන්න වූ 6 වැන්නේත් එනම් 2, 6, 12 යන රාශියන්හි විවාහ කාරක ග්‍රහයා තැන්පත් වූයේ නම් විවාහ ජීවිතයේ පරාජිත අත්දැකීමකට මුහුණ පාන්නට සිදුවිය හැක.
පුරුෂ කේන්ද්‍රයක 7 වැනි භාවයේ සිකුරු, ශනි, රාහු, කුජ යන පාපී ග්‍රහයන්ගෙන් පීඩාවට පත් වුවහොත් භාර්යාවට හානි සිදු වේ. එමෙන්ම සිකුරු, බුධ සමඟ 7 වැන්නේ නියෝජනය වුවහොත් විවාහ සතුට සැනසීම බලාපොරොත්තු විය නොහැක.
මෙම කරුණු මෙසේ තිබියදී ඔබ විවාහයට තෝරාගත් සහකරුගේ කේන්ද්‍රයෙහි අඟහරු සමඟ සෙනසුරු සංයෝගව කටක රාශියෙහි තැන්පත් වී හෝ චන්ද්‍රයා සමඟ අඟහරු සංයෝග වී හෝ අඟහරුගේ දෘෂ්ටියට ලක්වීම හෝ දක්නට ලැබේ නම් ඔහු මත්පැන් පානය කෙරෙහි යොමු වන්නෙකි.
කුජ සිකුරු එක්වූ විට අති ධාවන නාමයෝග යෙදේ. මෙම දෙදෙනාගේ සංයෝගය ජල රාශියක යෙදුණොත් ජන්මියා මත්පැන් පානයට නැඹුරු වේ.
මේ අතර කොතරම් ධනය බලය තිබුණත් යුග දිවියේ ප්‍රීතිමත් බව නැතිකර දමන, ඒ වෙනුවට කටුක භාවය ඇති කරන ග්‍රහ පිහිටීම්ද වේ. යුග දිවියට එළැඹීමෙන් අනතුරුව තම පාර්ශ්වකරුගේ ක්‍රියා කලාපය නිසා ජීවිතය කටුක භාවයෙන් පිරී පවතින බැව් අසන්නට ලැබේ. මෙසේ විවාහයෙන් පසු විවාහ සහකාරිය හෝ සහකරු සෙනෙහස, ආදරය, ලෙන්ගතු භාවය නොහඳුනන අයෙක් වූ විට එතැන ජීවිතයේ කටුක භාවය අත්දකින්නට සිදු වේ.
අටවැන්න කටක රාශිය වී එහි සෙනසුරු තැන්පත් වීම විවාහයේ කටුක බව ඇති කෙරේ. අටවැන්නේ කේතු පිහිටීමද මෙවැනි තත්ත්වයන් ඇති කිරීමට හේතු වේ.
ලග්නාධිපති සහ 7 අධිපති අන්‍යොන්‍ය වශයෙන් සතුරු වී 7 අධිපති අස්න නම් හෝ පිහිටීම අංශක 5 කට වඩා අඩු වේ නම් ජන්මියාගේ විවාහ ජීවිතය මතභේද සහ ගැටලු ආදියෙන් පිරී පවතී.
මේ අතර ශනි, බුධ දෘෂ්ටිය පවතින විට බොහෝ විට වචන හුවමාරුවේදී පහසුවෙන් ගැටුම් ඇති කෙරේ. එමෙන්ම සෙනසුරුගේ දෘෂ්ටියෙන් අඟහරු හා බුධ පීඩාවට ලක්වීමද, සංවේදී භාවයෙන් අඩු පුද්ගලයකු බිහිකරයි. මෙමගින් යුගදිවියේ බලාපොරොත්තු වන්නා වූ සාමය, සමගිය බිඳ වැටී අවුල් වියවුල් ඇති කෙරේ.
යම් ජන්මියකුගේ සඳු නීච වීමද විවාහයට ඛෙහෙවින් අහිතකර ලෙස බලපාන බව පෙනේ. සාමාන්‍යයෙන් චන්ද්‍රයා නීච වීම පුරුෂ කේන්ද්‍රයකට වඩා කාන්තා කේන්ද්‍රයක වුවහොත් එය අශුභදායකය. මෙසේ නීච වූ සඳු, අඟහරු හෝ සිකුරු සමඟ යෝග වීම අනියම් ලිංගික ඇසුරුතාවයකට යොමුකරන ග්‍රහ පිහිටීම් වේ.
යම් ජන්මියෙකුගේ කේන්ද්‍රයක සඳු අශුභ බලපෑම්වලට ලක්වී තිබීම, ඔහුගේ හෝ ඇයගේ මානසික සෞඛ්‍යයට යම් බලපෑමක් එල්ල විය හැක. ඔව්හු අභ්‍යන්තර උද්වේගවත් කැළඹිලි මනසකින් හා අසහනකාරී තත්ත්වයකින් සිටිය හැක. මෙවැනි ජන්මියෙක් සමඟ විවාහ වීම විශාල කරදරයකට මුල පිරීමක් විය හැක.
කේන්ද්‍රයක එක් කොටුවකින් ග්‍රහයෙකුගෙන් හෝ දෙන්නෙකුගෙන් යම් පුද්ගලයෙකුගේ ජීවිතය ගැන බැලීම පහසු නොවේ. ඒ සඳහා ගැඹුරු අධ්‍යයනයක යෙදිය යුතු වේ. කෙසේ වෙතත් පූර්ව කර්ම බලවේග සහ දෛවෝපගත බලපෑම් මත සිදුවේ යෑයි පවසන මෙම විවාහය නමැති බැඳීම් නිවැරැදි කේන්ද්‍ර පරීක්ෂාව මගින් දහසකුත් බලාපොරොත්තු මැද ආරම්භ කළ යුගදිවියේ සියලු අපේක්ෂාවන් බොඳවන්නට නොදී යම් පිටුවහලක් ලැබීමට උපකාරී වනු ඇත.